පාසල් නිවාඩුවේ දරුවන්ට සිදුවන අනතුරු ගැන සැලකිලිමත් වෙන්න 

පාසල් නිවාඩු සමයත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.

වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩුව හේතුවෙන් මේ දිනවල සරුංගල් යැවීම දරුවන් අතර ජනප්‍රිය වී ඇති අතර, නොසැලකිලිමත් ලෙස සරුංගල් යැවීම හේතුවෙන් බරපතළ තුවාල මෙන්ම ජීවිත අවදානම් පවා ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන් උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී ඇදවැටීම් සිදුවිය හැකි අතර, කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී ගැටීම් හා වැටීම් හේතුවෙන්ද අනතුරු සිදුවිය හැකි බව සඳහන් වේ.

එමෙන්ම අධිබලැති විදුලි රැහැන් ආසන්නයේ සරුංගල් යැවීම ඉතා අවදානම් ක්‍රියාවක් බවත්, සරුංගල් නූල් විදුලි රැහැන්වල ගැටීමෙන් විදුලි ධාරාව නූල ඔස්සේ පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය විය හැකි බවත් වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි.

එවැනි විදුලි සැර වැදීම් හේතුවෙන් අත්, බාහු සහ පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායුවලට දැඩි හානි සිදුවිය හැකි අතර, ඇතැම් අවස්ථාවල හානි වූ ශරීරාංග ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට පවා සිදුවන බව ඔහු අවධාරණය කරයි.

තවද, විදුලි සන්නායකතාව ඇති නූල් අධිබලැති විදුලි රැහැන් සමඟ ගැටීමෙන් ක්ෂණිකව ජීවිත හානි සිදුවිය හැකි බැවින්, විදුලි රැහැන් පවතින ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් දරුවන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වගකීමෙන් කටයුතු කළ යුතු බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවද එකසේ වැදගත් බැවින්, සරුංගල් යැවීමේදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා සමස්ත සමාජයම අවබෝධයෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *