මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, එම කලාප තුළ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (09) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනය පදනම් කරගනිමින් මෙම විශේෂ දැනුම්දීම සිදුකර තිබෙනවා.

ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 (70 km/h) දක්වා ඉහළ යා හැකි බවත්, සුළඟේ වේගය වැඩිවීමත් සමඟ අදාළ මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්.

එහිදී, පවතින තත්ත්වය වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බැවින්, අදාළ ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන එක්දින සහ වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා මුහුදු යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස දැඩි ලෙස අවවාද නිකුත් කර තිබෙනවා.

අවදානම් තත්ත්වයක් වාර්තා නොවන වෙනත් ප්‍රදේශවලින් මුහුදු යන ධීවර යාත්‍රා ද මාතර සිට පොතුවිල් දක්වා නම් කර ඇති මෙම අවදානම් කලාපය තුළ ධීවර රැකියාවේ නොයෙදීමට වගබලා ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *