Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දකුණු අප්‍රිකාවට පළමු තරඟයෙන් ලකුණු 14ක පරාජයක්

By News Team on September 3rd, 2021 in Sport

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 14ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේ සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් වුණා.

එක්දින පිටියේ තුන්වන ශතකය වාර්තා කරමින් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118 ලබාගත් අතර ඊට හතරේ පහරවල් 10ක් සහ හයේ පහරවල් 2ක් ඇතුළත්.

චරිත් අසලංක ලකුණු 72ක් ලබාගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කගිසෝ රබඩා සහ කිෂෝ මහාරාජ් කඩුලු 2 බැඟින් බිඳ හෙලුවා.

ලකුණු 301 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලබා ගැනීමට හැකි වුයේ කඩුලු 6ක් දැවී ලකුණු 286ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් එඩින් මාක්‍රම් ලකුණු 96ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 5ක් සහ හයේ පහරවල් 4 ඊට ඇතුලත්.

රසී වෑන් ඩුසර් ලකුණු 59ක් ලබාගත් අතර දකුණු අප්‍රිකා කණ්ඩායම් නායක ටෙම්බා බවුමා ලකුණු 38ක් ලබාගැනීමට සමත් වුණා.

තරඟය අතරතුරදී ටෙම්බා බවුමා අබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත් වූ අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අකිල ධනංජය කඩුලු 2ක් බිඳ හෙලු අතර චාමික කරුණාරත්න, වනිඳු හසරංග, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු එක බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.

මෙම තරඟයේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපර් ලීග් සටහනේ ප්‍රසාද ලකුණු 10ක් ලබාගැනීමට සමත් වූ අතර ඒ
අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 8 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.