2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 24 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාදීකරණය නියම කළේය.
එම පෙත්සම අද (29) අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රැන්ක් ගුණවර්ධන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා අදාළ පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මස 24 වන දා කැඳවන ලෙස නියම කළේය.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.
එම අධි චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස සිය නීතිඥවරු මූලික විරෝධතා මතුකළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය අදාළ නඩුව විභාගයට ගැනීමට නියම කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.
කොළඹ මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැණි යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාටලී චම්පික රණවක මහතා විසින් අභියාචනාධිකරණය හමුවට පැමිණ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න